පිරුළු කතන්දර 02-අබරා සිල් ගත්තා වගෙයි

 


එක කාලෙක අබරා කියලා ටිකක් අනුවණ මනුස්සයෙක් හිටියා
.මෙයාගේ බිරිඳ හැම පෝයකටම සිල්ගන්නවා. ඉතින් දවසක් අබරා එයාගේ බිරිඳගෙන් ඇහුව්වලු කොහොමද සිල් ගන්නේ කියලා. 

ඉතින් බිරිඳ කිව්වලු, ආ එක හරිම ලේසි දෙයක්නෙ පන්සලට ගිහින් හාමුදුරුවෝ කියන එකම කියන්න තියෙන්නෙ කියලා. ඉතින් අබරා හිතාගත්තලු එහෙනම් ලබන පෝයට සිල් අරන් බලන්න ඕනේ කියලා.

ඔන්න පෝය දවසෙ උදේම ලක ලෑස්ති වෙලා පන්සලට ගිය අබරට හාමුදුරුවෝ මුනගැහුණා. හාමුදුරුවෝ අබරාගෙන් ඇහුවා “මොකද මේ කවදාවත් නැතුව පන්සලේ” කියලා.ඉතිං ඔන්න අබරට එයාගේ බිරිඳ කිව්ව කතාව මතක්වෙලා හාමුදුරුවරුන්ගෙන් “මොකද මේ කවදාවත් නැතුව පන්සලේ කියලා” ඇහුවා. 

හාමුදුරුවෝ ඒ පාර “මොකද උඹට පිස්සුද කියලා” ඇහුවා. එතකොට අබරත් “මොකද උඹට පිස්සුද කියලා” ඇහුවා. මේක අහපු හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහින් “මූව කඹයක් අරන් බැඳලා දාන්න” කියලා හාමුදුරුවෝ ඇබිත්තයන්ට කිව්වා. මෙන්න අබරත් ඒකම කියනවා. දැන් නම් අනිත් අයටත් හොඳටම තරහයි. ඊට පස්සේ උපාසක මහත්තුරු ටිකත් ඇවිත් ඔක්කොම එකතුවෙලා අබරට හොඳටම ගහලා පන්සලෙන් පන්නා ගත්තා.

ඇඟපත අතගගා ගෙදර ගිය අබරා බිරිඳ ගෙන් ඇහුවා සිල් ගන්න එක මේතරම්ම අමාරු දෙයක් වෙලත් කොහොමද හැම මාසෙම සිල් ගන්නේ කියලා. මට මේ එක දවසක් සිල් අරගෙනත් මේ තරම්ම අමාරුයි කියලා සිදුවුන හැමදේම බිරිඳට කිව්වා. සැමියාගේ අනුවණකම දන්න බිරිඳ බෙහෙත් තෙල් ගාලා අබරා ට සාත්තු කළා. 

අබරා නොදන්න දෙයක් කරන්න ගිහින්නේ මේ තරම්ම ලොකු අමාරුවක වැටුනෙ, ඉතින් අපි කවුරු හරි නොදන්න දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටුන අය ගැන කතා කරනකොට අපි මෙන්න මේ ප්‍රස්තාව පිරුළු යොදාගන්නවා



 


පිරුළු කතන්දර 01-නයයි පොළඟයි වගේ

 


 

ඔන්න එකමත් එක කාලෙක ලොකු නියඟයක් ආවා. මේ නියඟය නිසා කැලේ ඔක්කොම ඇළදොළ ගංා හිඳිලා සතුන්ට බොන්නත් වතුර නැති වුණා.දවසක් හොඳටම වතුර තිබහ වෙච්ච නයෙක් කැලේ වතුර නැති නිසා ගමකට ගියා වතුර හොයාගෙන. 

ඔහොම යනකොට එක ගෙදරක මිදුලෙ බේසමක පුංචි බබෙක් නානවා.  නයා හිමින් හිමින් සීරුවෙන් මේ බබා ඉන්න බේසමෙන් වතුර ටිකක් බිව්වා. පුංචි බබා නයාට බය වෙලා එයාගේ අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා හැබැයි මේ නයිහාමි පුංචි බබා එක්ක තරහා වුණේ නෑ එයා පොඩි ළමයෙක්නෙ කියලා හිතලා එයාට දෂ්ඨ නොකර ගුටිපාරවල් ඉවසගෙන කැලේට යන්න ගියා.

මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩගාගෙන යන පොළඟෙක් මේ නයිහාමිට  මුණ ගැහුණා.  නයි හාමි හොඳ ප්‍ර‌ෙබෝධයෙන් ඉන්නවා දැකපු පොළොන් හාමි ඔයා නම් හොඳ ප්‍රබෝධයෙන් ඉන්නවා ඔයාට වතුර හම්බවෙලා වගේ. කොහෙන්ද හම්බුනේ කියලා ඇහුවා.ඉතිං නයි හාමි එයාට වතුර හම්බුන විදිහ කියලා කිව්වා ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ඨ කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න කියලා. 

එහම පොරොන්දු වෙලා ගිය පොළොං හාමි අර පුංචි බබා නාන වතුර බේසමෙන් වතුර බිව්වා.  පොළඟට බය වුන බබා කෝප්පෙන් පොළට ගැහුවා. පොළඟට හොඳටම තරහ ගිහින් බබාට දෂ්ඨ කළා.

නයිහාමිට පොළඟා ගැන සැකයක් ඇති වුනා. මෙයා පොරොන්දුව රකියි ද දන්නෑ කියලා. කෝකටත් කියලා  නයා අර ගෙදරට ආපහු යනකොට පොළඟා බබාට දෂ්ඨ කරලා.  නයි හාමි ඉක්මනින් ගිහින් බබාගේ ඇගේ තිබුන විෂ ටික අයින් කරලා පොළොං හාමි හොයාගෙන කැලේට ගිහින් පොළට හොඳටම දෂ්ඨ කළා.  ඒ දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා.

ඉතිං ඔන්න මේ දෙන්නා දකින දකින තැන රණ්ඩු වුණා.  ඉතින් අන්න ඒ වගේ ලොකු තරහක් වෛරයක් ඇති දෙන්නෙක් ගැන කතා කරන වෙලාවට අපි මේ ප්‍රස්තාව පිරුළ යොදාගන්නවා.

පිරුළු කතන්දර 03-පුහුල් හොරා කරෙන් දැනේ

 

ඔන්න එකමත් එක ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළට ලොකු හේනත් තිබ්බා.ගමරාළ ගොඩක් ආදරෙන් තමයි එයාගේ හේන බලාගත්තේ.               

ඔන්න ඉතින් ටික දවසක් යනකොට මේ හේනේ තිබ්බ ලොකු පුහුල් වැලක ලොකු අළු පුහුල් ගෙඩියක් හැදුනා. ගමරාළට ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ ගමරාළ ගොඩක් ආදරෙන් මේ පුහුල් වලට සාත්තු සප්පායම් කරා.             

ඔන්න දවසක් දා රෑක  මේ පුහුල් ගෙඩිය ගමේ හිටිය හොරෙක් කඩාගෙන එයාගෙ කරේ තියාගෙන ගියා.ගමරාළ උදේම හේනට යද්දි වෙනදා වගේ වැලේ තිබුන පුහුල් ගෙඩිය නැති බව දැක්කම ගොඩක් දුක හිතුනා.             

කොහොමහරි මේ පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා හොයාගන්න ඕනි කියලා හිත හිතා උපායක් කල්පනා කරපු මේ ගමරාළ සීනුවක් නාද කරන්න පටන් ගත්තා.ඔන්න එතකොට මුලු ගමේම මිනිස්සු ගමරාළ වටේට එකතු වුනා.               

ඊටපස්සෙ මේ ගමරාළ ඊයේ තමන්ගේ හේනේ තිබුණ පුහුල් ගෙඩිය හොරකම් කරපු කතාව හැමෝටම කියලා පුහුල් හොරා කරෙන් දැනේ කියලා කියන්න ගත්තා.               

ඉතින් ඔන්න පුහුල් ගෙඩිය හොරකම් කරපු  මිනිහත් මෙතන හිටියා.ගමරාළගේ කතාව ඇහුනු මේ පුහුල් හොරා මගේ කරේ අළුවත් තිබුණොත් කියලා හිතාගෙන අතකින් කර පිහ දැම්මලු.ඒක දැකපු ගමරාළ පුහුල් හොරාව ලේසියෙන්ම අල්ල ගත්තා.ඔන්න දුවේ පුතේ බාහිර ඉරියව් වලින් මොකක් හරි වැරද්දක් කරපු කෙනෙක් හදුනාගන්න කොට අපි මේ පිරුළ යොදාගන්නවා.

ඉඟි වැකි

 

 


1.අන්දමන්දව- 

    නොසන්සුන්ව

2.අකුල් හෙලනවා-  

    බාධා කරනවා

3.අනූනමයෙන් ‌‌බේරුනා- 

    අවසාන මොහොතේ ගැලවුනා

4.අසුරු සැනින්- 

    ක්ෂනිකව

5.අත දීම- 

    උදව් කිරීම

6.අත්මාරුවක්- 

    ණයක්

7.ඇමගිල්ලා- 

    රැවටුනා

8.අඹ යාළුවා- 

    හොඳම මිතුරා

9.ඇඟිලි ගනිමින්- ‌‌

    වෙලාව එන තෙක් නොඉවසිල්‌‌ලෙන්

10.අතු කඩා මොර කෑම- 

    ආදායම් මාර්ග අහුරා ගැනීම

11.ඉබි ගමන- 

    ඉතා සෙමින්

12.ඉවක් බවක් නැතුව-  

    සොයා බැලීමක් නැතුව

13.ඉමක් කොනක් නොපෙනෙන- 

    ඉතා විශාල

14.ඉවසී‌මෙන් සැනසීම ලැබේ- 

    කලබල වී කටයුතු කිරීම හොඳ නැත


ආප්තෝපදේශ 01

 




01. අඬන්න ඕනෑ කිරි එරෙන්න

උත්සාහ කළ විට එහි ප්‍රතිඵල ලැබේ

 
02.අනුන්ට හෑරූ වළේ තමන් වැටේ

අනුන්ට කරපු වරදක් ආපසු තමා වෙතම පැමිණේ
 
03.ඇඟිල්‌ලෙ තරමට ඉදිමිය යුතුය

තමාගේ තරම දැනගෙන කටයුතු කළ යුතුය
 
04.ඇවිද්ද පය දහස් වටී

සංචාරය කරන්නන් අත්දැකීම් බහුල අය වේ
 
05.අග හැදෙන්නේ මුල හැදුන විටයි

යම් පුද්ගලයෙකුට  කුඩා කාලයේ ලැබෙන හොඳ හෝ නරක ගතිගුණ එම පුද්ගලයාගේ පසු ජීවිතයට බලපානු ලබයි
 
06.අත්‌තෙන් අත්තට පනින කුරුල්ලා ‌තෙමී නසී

වරින් වර ‌ වෙනස්වීම් කරන පුද්ගලයා විනාශයට පත්වේ
 
07.අත දීලා දත නියවන්න එපා

උපකාර කරලා ඒ ගැන පුරසාරම් කීමෙන් වලකින්න
 
08.අත හයියනම් බත නොවරදී

මහන්සි වී වීර්යෙන් වැඩ කරනවනම් සාර්ථකත්වය ලබා ගත හැක
 
09.අතෑරෙන දීගේ හෙවනැල්ලත් ඇදලූ

එපා වූ අයගේ සෑම දෙයක් ම පිළිකුල් කරයි
 
10.අතේ ඉන්නා කුරුල්ලා පදුරේ ඉන්නා කුරුල්ලන් දහසකට වඩා අගනේය

තමන්ට ප්‍රයෝජනවත් වන්නේ තමන් සතු දේ මිස අන් අය සතු අතිමහත් දේ නොවෙයි
 
11.අතිරසත් තිත්ත වෙනවලු

ඔනෙම හොඳ දෙයක් වුනත් වැඩියෙන් දකින විට හෝ කරන විට එය එපා වෙයි
 
12.අද කළ යුතු දේ හෙටට කල් නොතබනු

කළ යුතු දේ නිසි පරිදි නිසි වේලාවට කළ යුතුය
 
13.ආරේ ගති නෑරේ

ජන්ම ගතිය අත් නොහරී
 
14.අලි විකුණා ලාභ ගන්න බැරි වූදේ තම්පලා විකිණීමෙන් ලබාගත නොහැක

ලැබුණු ලොකුම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන වෙනත් සුළු සුළු දේවල් කිරීමෙන් පලක් නැත
 
15.අව්ව තිබියදී පිදුරු වේලා ගත යුතුය

ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය  
 
16.අවවාදයට වඩා ආදර්ශය උතුම්ය

යමෙකුට දෙයක් වචනයෙන් කියනවට වඩා කළ යුත්තේ එය සිඳු කරන අයුරු ක්‍රියාවෙන් සිඳු කර පෙන්වීමයි
      
17.අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

ආයුධ අතට ගත්ත අය තම බලය පෙන්වා සතුරන් ඇති කර ගනී.සතුරන් බලවත් වූ විට         ඔවුන්ගේ අවිවලට ගොදුරු වෙයි
 
18.ඉක්මන් කොටයි

ඉක්මන් වීම හොඳ නැත
 
19.ඉවසීමෙන් සැනසීම ලැබේ

කුමක් හෝ දෙයකට කලබල වී  තීරණ අරන් කටයුතු කරනවාට වඩා ඉවසීමෙන් සිටීම වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වෙයි
 
20.ඉහිරුණු කිරට අඬන්න එපා

පසුගිය ‌‌දේවල් ගැන පසුතැවිලි වී පලක් නැත
 


පනින්න පෙර සිතා බලනු

 





එක්තරා වගුරු බිමක ගෙම්බන් දෙදෙනෙක් ජීවත් උනා.ඔන්න ඉතිං ඉතා දිගු කාලයක් වැස්ස නැතුව ලොකු නියං කාලයක් ආවා. 

මේ නිය හින්දා මේ වගුරු බිම වියළී යාමට පටන් ගත්තා.ඉතින් මේ ගෙම්බෝ දෙන්නා තීරණය කළා මේ වගුරු බිම අතහැරලා වෙන තැනක් හොයාගෙන යන්න.ඔන්න පුංචි දුවේ පුතේ මේ ගෙම්බෝ දෙන්නා වතුර තියෙන තැනක් හොයාගෙන යද්දි ලොකු ගැඹුරු ළිඳක් තියනවා දැක්කා.

ළිඳ ළඟට ගිය ගෙම්බො දෙන්නගෙන් එක ගෙම්බෙක් ගොඩක් සතුටුයි.ඉතින් ගෙම්බා නිත් ගෙම්බට කිව්වා යාළුවේ මෙතන තමයි අපිට ගැළපෙනම තැන වතුරත් ගොඩක් තියෙනවා. නිසා අද ඉඳන් අපි මෙතන නවතිමු කිව්වා.

අනිත්ගෙම්බා ගොඩක් බුද්ධිමත් ඥාණවන්ත ගෙම්බෙක්.එයා ටිකක් වෙලා කල්පනා කරලා, යාළුවේ වතුර තියෙනවා නම් තමයි. ඒත් මේ ළිඳ ගොඩක් ගැඹුරුයි. කවද හරි කාලෙක මේ ළි‌‌‌ෙත් වතුර හිදුනොත් අපි කොහොමද ගොඩට එන්නෙ කියලා ඇහුවා.

ඉතින් ඔන්න එතකොට තමයි අනිත් ගෙම්බටත් දේ ගැන හිතුනෙ.ඉතින් පුංචි දුවේ පුතේ ඒක තමයි අපි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා.

අපි ඕනම දෙයක් කරන්න කලින් ගැන හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්න ඕනේ නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා.