පිරුළු කතන්දර

 

01.නයයි පොළයි වගේ

ඔන්න එකමත් එක කාලෙක ලොකු නියඟයක් ආවා. මේ නියඟය නිසා කැලේ ඔක්කොම ඇළදොළ ගංා හිඳිලා සතුන්ට බොන්නත් වතුර නැති වුණා.දවසක් හොඳටම වතුර තිබහ වෙච්ච නයෙක් කැලේ වතුර නැති නිසා ගමකට ගියා වතුර හොයාගෙන. ඔහොම යනකොට එක ගෙදරක මිදුලෙ බේසමක පුංචි බබෙක් නානවා.  නයා හිමින් හිමින් සීරුවෙන් මේ බබා ඉන්න බේසමෙන් වතුර ටිකක් බිව්වා. පුංචි බබා නයාට බය වෙලා එයාගේ අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා හැබැයි මේ නයිහාමි පුංචි බබා එක්ක තරහා වුණේ නෑ එයා පොඩි ළමයෙක්නෙ කියලා හිතලා එයාට දෂ්ඨ නොකර ගුටිපාරවල් ඉවසගෙන කැලේට යන්න ගියා.

මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩගාගෙන යන පොළඟෙක් මේ නයිහාමිට  මුණ ගැහුණා.  නයි හාමි හොඳ ප්‍ර‌ෙබෝධයෙන් ඉන්නවා දැකපු පොළොන් හාමි ඔයා නම් හොඳ ප්‍රබෝධයෙන් ඉන්නවා ඔයාට වතුර හම්බවෙලා වගේ. කොහෙන්ද හම්බුනේ කියලා ඇහුවා.ඉතිං නයි හාමි එයාට වතුර හම්බුන විදිහ කියලා කිව්වා ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ඨ කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න කියලා. එහම පොරොන්දු වෙලා ගිය පොළොං හාමි අර පුංචි බබා නාන වතුර බේසමෙන් වතුර බිව්වා.  පොළඟට බය වුන බබා කෝප්පෙන් පොළට ගැහුවා. පොළඟට හොඳටම තරහ ගිහින් බබාට දෂ්ඨ කළා.

නයිහාමිට පොළඟා ගැන සැකයක් ඇති වුනා. මෙයා පොරොන්දුව රකියි ද දන්නෑ කියලා. කෝකටත් කියලා  නයා අර ගෙදරට ආපහු යනකොට පොළඟා බබාට දෂ්ඨ කරලා.  නයි හාමි ඉක්මනින් ගිහින් බබාගේ ඇගේ තිබුන විෂ ටික අයින් කරලා පොළොං හාමි හොයාගෙන කැලේට ගිහින් පොළට හොඳටම දෂ්ඨ කළා.  ඒ දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා.ඉතිං ඔන්න මේ දෙන්නා දකින දකින තැන රණ්ඩු වුණා.  ඉතින් අන්න ඒ වගේ ලොකු තරහක් වෛරයක් ඇති දෙන්නෙක් ගැන කතා කරන වෙලාවට අපි මේ ප්‍රස්තාව පිරුළ යොදාගන්නවා.


02.පුහුල් හොරා කරෙන් දැනේ         

ඔන්න එකමත් එක ගමක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළට ලොකු හේනත් තිබ්බා.ගමරාළ ගොඩක් ආදරෙන් තමයි එයාගේ හේන බලාගත්තේ.               

ඔන්න ඉතින් ටික දවසක් යනකොට මේ හේනේ තිබ්බ ලොකු පුහුල් වැලක ලොකු අළු පුහුල් ගෙඩියක් හැදුනා. ගමරාළට ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ ගමරාළ ගොඩක් ආදරෙන් මේ පුහුල් වලට සාත්තු සප්පායම් කරා.             

ඔන්න දවසක් දා රෑක  මේ පුහුල් ගෙඩිය ගමේ හිටිය හොරෙක් කඩාගෙන එයාගෙ කරේ තියාගෙන ගියා.ගමරාළ උදේම හේනට යද්දි වෙනදා වගේ වැලේ තිබුන පුහුල් ගෙඩිය නැති බව දැක්කම ගොඩක් දුක හිතුනා.             

කොහොමහරි මේ පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරා හොයාගන්න ඕනි කියලා හිත හිතා උපායක් කල්පනා කරපු මේ ගමරාළ සීනුවක් නාද කරන්න පටන් ගත්තා.ඔන්න එතකොට මුලු ගමේම මිනිස්සු ගමරාළ වටේට එකතු වුනා.               

ඊටපස්සෙ මේ ගමරාළ ඊයේ තමන්ගේ හේනේ තිබුණ පුහුල් ගෙඩිය හොරකම් කරපු කතාව හැමෝටම කියලා පුහුල් හොරා කරෙන් දැනේ කියලා කියන්න ගත්තා.               

ඉතින් ඔන්න පුහුල් ගෙඩිය හොරකම් කරපු  මිනිහත් මෙතන හිටියා.ගමරාළගේ කතාව ඇහුනු මේ පුහුල් හොරා මගේ කරේ අළුවත් තිබුණොත් කියලා හිතාගෙන අතකින් කර පිහ දැම්මලු.ඒක දැකපු ගමරාළ පුහුල් හොරාව ලේසියෙන්ම අල්ල ගත්තා.ඔන්න දුවේ පුතේ බාහිර ඉරියව් වලින් මොකක් හරි වැරද්දක් කරපු කෙනෙක් හදුනාගන්න කොට අපි මේ පිරුළ යොදාගන්නවා.

 

 

 

No comments:

Post a Comment